නමෝ තස්ස භගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස සුසුඛං වත ජීවාම - වේරිනේසු අවේරිනො වේරිනේසු මනුස්සේසු - විහරාම අවේරිනො සුසුඛං වත ජීවාම - ආතුරේසු අනාතුරා ආතුරේසු මනුස්සේසු - විහරාම අනාතුරා සුසුඛං වත ජීවාම - උස්සුකේසු අනුස්සුකා උස්සුකේසු මනුස්සේසු - විහරාම අනුස්සුකා සුඛ වග්ග, ධම්මපදං සැදැහැවත් පින්වතුනි, සැපයට කැමති බව මුළු මනුෂ්‍ය ලෝකයේ සියලුම සත්ත්වයින්ට පොදු ධර්මතාවක්. මුළු ලෝකයම යෙදී සිටින්නේ සැපය සොයාගෙන යන ගමනකයි. නමුත් මේ සැප සොයාගෙන යන ගමන බොහෝවිට කෙළවර වන්නේ දුකෙන්. ඒකට හේතුව සාමාන්‍ය ලෝකයා, අවිද්‍යාවෙන් වැසුනු ඇස් ඇති, තණ්හාවෙන් බැඳුනු ඒ ලෝකයා, සැපය සොයන්නේ අනියම් මාර්ගයෙන්. නියම සැපතත් ඊට මාර්ගයත් හරියට දන්නේ නැති නිසයි ඒ තත්වයට වැටිලා තියෙන්නේ. සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා අප තිලෝගුරු බුදු පියාණන් වහන්සේ අද වැනි වෙසක් පෝය දවසක සම්බෝධිය ලබාගත්තේ ඒ සැප සොයාගෙන දුවන ලෝක සත්ත්වයාට නියම සැපතට මාර්ගයත් නියම සැපතත් හඳුන්වා දීමටයි. බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ මහා ප්‍රඥාවත් මහා කරුණාවත් උපකාර කරගෙන බොහොම අවස්ථාවල් වල ඉදිරිපත් වෙලා ලෝක සත්ත්වයාට ඒ අනියම් මාර්ගයෙන් සැප සෙවිල්ල ඉවත් කරලා නියම සැපත හඳුන්වා දෙන්ට ධර්ම දේශනා කළා. දැන් මේ අප මාතෘකා කළ ගාථා තුනත් ඊට අදාළ කථාවෙනුත් අපට පෙන්නුම් කෙරෙන්නේ අර බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ අනුත්තර පුරිසදම්ම සාරථි ගුණය උපකාර කරගෙන මහා කරුණාවෙන් උපායමාර්ග යොදමින්, මහා ප්‍රඥාවෙන් ධර්මයේ සත්‍ය තත්වය පැහැදිලි කරමින්, ලෝකයාට ශාන්තිය උදාකළ ආකාරයයි. ශාක්‍ය වංශයට අයිති කපිලවස්තු නගරයටත් කෝලිය වංශයට අයිති කෝලිය නගරයටත් අතරින් රෝහිණී කියලා ගංගාවක් ගලා බසිනවා. ඒ ගංගාවෙ බැම්මක් බැඳලා ඒ ජලය ප්‍රයෝජනයට අරගෙන මේ නගර දෙකේම - මේ රාජධානි දෙකේම - ගොවියන් ගොවිතැන් කරනවා. එක නියං කාලයක මේ දෙපිරිසටම වැටහුනා වතුර හිඟවේගෙන ගිහිල්ලා ‘අපි දෙගොල්ලන්ටම මේ කටයුත්ත කරන්න බෑ, එක ගොල්ලකට විතරයි මේ වතුර සෑහෙන්නේ’ කියලා. ඊළඟට මේ දෙපක්ෂය එකතුවෙලා තමන්ට වතුර අයිති කරගන්න වාද විවාද කරන්න පටන් ගත්තා. බහින් බස් වෙලා, කල කෝලාහල කරගෙන, කුලමල කියාගෙන, අන්තිමට මේ කලබලය ඒ දෙපක්ෂයේ රාජ වංශයටත් ඒ රජ ගෙදරවල් වලටත් ආරංචි උනා. අන්තිමට මහා යුද්ධයක් ඇතිවෙන තැනට කාරණා යෙදුනා. ඒ දෙපිරිසෙම රජවරු සටන් පාඨ කියමින් යුද්ධය සඳහා පිටත් වෙලා ගියා. හරියටම එදා අළුයම් කාලයේ බුදු පියාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකය බලා වදාරනකොට පෙනුනා ඒ තමන්ගෙ ඥාති රාජවංශ දෙක තමන් වහන්සේ එතනට වැඩම කළේ නැත්නම් ඔවුනොවුන් විනාශ කරගෙන මහා ලේ වැගිරීමක් වෙන බව. දැකලා බුදු පියාණන් වහන්සේ තනියම අහසින් වැඩම කරලා ඒ රෝහිණී ගඟ මැද අහසෙහි පළඟ පිහිටුවාගෙන - පර්යංකයෙන් - වැඩ හුන්නා. බුදු පියාණන් වහන්සේ එතනට වැඩිය හැටියේ ඒක දැකලා අර ශාක්‍ය කෝලිය දෙවංශයේම රජවරු ආයුධ බිම හෙළලා බුදු පියාණන් වහන්සේට වන්දනා කළා. බුදු පියාණන් වහන්සේ ඇහුවා “මහ රජවරුනි, මොකද මේ කලහයට හේතුව?” කියලා. ඒ රජවරුන්ට එකහෙළා ප්‍රකාශ කරන්ට බැරි උනා, මොකක්ද මේ යුද්ධයට මූලික හේතුව කියලා. මොකද, අර ඔවුනොවුන් කුලමල කියාගත්තට පස්සේ එයින් ඇතිවුන ද්වේශය නිසයි ඇත්ත වශයෙන්ම යුද්ධයට මේ විදියට ඇදිලා ආවේ. මේක යට තියෙන හේතුව ඒ රජවරුවන් වත් දන්නේ නෑ. ඊළඟට බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කළා. අපි නම් දන්නේ නෑ. සමහර විට සේනාපති නම් දන්නවා ඇතෙයි කියලා. ඊළඟට සේනාපති ගෙන්නලා අහුවා, ඒත් දන්නේ නෑ කිව්වා. සමහර විට යුවරජ දන්නවා ඇතෙයි කිව්වා. ඔය විදියට ප්‍රශ්න කරලා බලනකොට අන්තිමට අර ගොවියන් එකතුවෙලා ආරම්භ කරපු වාද විවාද නිසා මේ යුද්ධයකට කරුණු සැලසුනයි කියන එක එළිදරව් වුනා. එතකොට බුදු පියාණන් වහන්සේ මේ දෙපක්ෂයෙන් අහනවා “මහරජවරුනි මේ වතුර කොයි තරම් වටිනවද” කියලා. “වතුර නම් ස්වාමීනි ටිකයි වටින්නේ. ඒක අල්ප මාත්‍ර වටින දෙයක් වතුර කියන එක”. “මේ ක්ෂත්‍රිය රජවරු කොච්චර වටිනවද?” “ඒක නම් වටිනාකම කියන්න බෑ අනර්ඝයි.” “එහෙනම් මහරජවරුනි, ඇයි මේ එතරම් නොවටිනා දෙයක් සඳහා වටිනා මනුෂ්‍ය ජීවිත විනාශ කරන්නේ” කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රශ්න කරහම ඒ රජවරුන්ට ඊට දෙන්න පිළිතුරක් නැතිවුනා. ඊළඟට බුදු පියාණන් වහන්සේ ධර්මය දේශනා කළා අර අපි මාතෘකා කළ ගාථා වලින්. නුඹලා හැම දෙනෙක්ම වෛරයෙන්, කෙලෙස් වලින්, තවත් පංචකාමයන් සෙවීම් ආදියෙන්, සිත් ඉතාමත්ම නොසන්සුන්ව තත්වයකට පත්කරගෙනයි ඉන්නේ කියන අදහස දක්වමින් එබඳු ඒ ලෝකයා අතර මම මෙන්න මේ විදියට නියම සැපතක් විඳිනවා යැයි ප්‍රකාශ කරමිනුයි අර ගාථා වදාළේ. ’සුසුඛං වත ජීවාම වේරිනේසු අවේරිනො වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනො.’ ‘සුසුඛං වත ජීවාම වේරිනේසු අවේරිනො’ - වෛරී වූ මනුෂ්‍යයින් අතර, වෛරී වූ ලෝක සත්ත්වයා අතර, අපි-අපි කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේත් ඒ කෙලෙස් සංසිඳුවා ගත්තු උත්තමයන් වහන්සේලාත් - අවෛරීව වාසය කරමු. ‘සුසුඛං වත ජීවාම’ ඉතාමත්ම සැපසේ, ‘සුඛං’ කියලා කියන්නේ සැපය. සුසුඛං කියලා කියන්නේ ඉතාමත් සැපය. ඉතාමත්ම ඉහළම මට්ටමේ සැපයක් විඳිමින් අපි වෛරී වූ ලෝකයා අතර අවෛරීව වාසය කරමු. ‘වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනො’ වෙරි වූ සත්ත්වයින් අතර අපි අවෙරිව් වාසය කරන්නෙමු. ඒ විදියටම, ‘සුසුඛං වත ජීවාම ආතුරේසු අනාතුරා’ – කෙලෙස් වලින් ආතුර වූ, ලෙඩ වූ, සත්ත්වයින් අතර අපි ඉතාමත්ම සැපසේ අනාතුරව - ඒ කෙලෙස් ආතුර බවක් නැතිව –වාසය කරන්නෙමු. ‘ආතුරේසු මනුස්සේසු - විහරාම අනාතුරා’ එබඳු වූ කෙලෙස් ආතුර සත්ත්වයින් අතර අපි අනාතුරව වාසය කරමු. ඒ විදියටම ‘සුසුඛං වත ජීවාම උස්සුකේසු අනුස්සුකා’ පංචකාම සම්පත්තියක් සෙවීමේ නිරතම උත්සුකව, ඒ සඳහා වෙහෙසෙන, නොසන්සුන් සත්ත්වයින් අතර අපි සැපයෙන් වාසය කරනවා, එබඳු ඒ සෙවිලි නැතිව, කියලා අන්න ඒ විදියට බුදු පියාණන් වහන්සේ ඒ තමන් ලබාගත්තු නිර්වාණ සුඛය පදනම් කරගෙන අර විදියට ගාථා තුනක් වදාළා. ඒක අහලා බොහෝ දෙනෙක් සෝවාන් ඵලයට පැමිණියා. ඒ වගේම අර යුද්ධය එතනින්ම අවසන් උනා. දැන් එතකොට අපට මේ බුදු පියාණන් වහන්සේ දුන්න මේ ශාන්ත සැනසුම් පණිවිඩය ගැන අපි හිත යොදලා බලමු. විශේෂයෙන්ම මේ සිද්ධිය ආශ්‍රයෙන් අපට හිතාගන්න පුළුවන් ලෝකයේ ක්‍රෝධය, කෝපය, ද්වේෂය, ආදිය පැන නගින ආකාරය. යම් තාක් ලෝකයේ යුද්ධ ඇතිවෙනවා නම්, ඒ හැම එකකම ආරම්භය මිනිස් සිතයි. මිනිස් සිතක බීජ වශයෙන් ඇතිවන ද්වේෂයක් මොරා යනවා ටිකින් ටික. මේක වෛරයක් වෙලා, අන්තිමට බද්ධ වෛරයක් බවට පත් උනාට පස්සේ ඒ ක්ලේශය තමන් දවමින්, තව ලෝකයාත් දවමින්, දීර්ඝ කාලයක් විනාශය කරා සත්වයා යොමු කරනවා. ඒ වගේම මේ පින්වතුන් අහලා තියෙනවා දැන් දෙව්දත් තෙරුන් වහන්සේ පිළිබඳ ඒ අතීත කථාන්තර. ඒ දේවදත්ත ඒ අතීතයේ බෝධි සත්ත්වයන් වහන්සේ කෙරෙහි ඇති කර ගත්තු ද්වේෂය කොයි තරම් කල්ප ගණනක් ඉදිරියට ගියාද? අන්න ඒ වගේ ඒ ලෝකයේ ඇති අනිත්‍ය බව අපි පළමුවෙන්ම කල්පනා කරන්ට ඕන. විශේෂයෙන්ම මේ යුගය, මේ රටේ, ඒ වගේම ලෝකයේත්, හැම තැනම මේ ද්වේෂ ගින්න පැතිරෙන, ක්‍රෝධ ගින්න පැතිරෙන, යුගයක්. එතකොට මේ ලෝකයා සැපය හැටියට සලකන්නේ සටන් කරලා ජය ලබා ගැනීමයි. ජය පානය කරනවා කියලා එකක් තියෙනවා, බොහෝ දෙනා සටන් කරලා ඒ තමන්ට ඇතිවුන නොසන්සුන් කම හඳුනා ගන්නෙන් නැතිව සන්සුන් කමක්, සැනසීමක්, බලාපොරොත්තු වෙන්නෙ ඒ විරුද්ධ වාදියා මැඩලා, එක්කෝ මරණයට පත් කරලා, ඊට පස්සේ ජය පානය කිරීමෙන්. නමුත් බුදු පියාණන් වහන්සේ වදාරලා තියෙනවා - ’ජයං වෛරං පසවති දුක්ඛං සේති පරාජිතො උපසන්තො සුඛං සේති හිත්වා ජයපරාජයං’ යම් කෙනෙක් ජයග්‍රහණයක් ලැබුවොත් එයින් ඇති වෙන්නෙ තවදුරටත් වෛරයයි. උපශාන්ත පුද්ගලයා ජය පරාජය දෙකම අත්හැරලා සැපසේ වාසය කරනවා කියලා. ඒ වගේම වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත් බුද්ධ වචනයයි. අන්න එතකොට අපට තේරෙනවා මේ වෛරය කියන සිතිවිල්ල කොතරම් විනාශයක් ලෝකය පුරා ඇති කරනවද කියලා. ආරම්භයේදීම මේකට නියම ආකාරයට බෙහෙත් වැටුණේ නැත්නම් හරියට විෂබීජයක් වගෙයි. දැන් විෂබීජ පැතිරෙන තැනක යම් කිසි එන්නත් කිරීමක්, ප්‍රතිශක්ති කරණයක්, ආදියක් අවශ්‍ය වෙනවා. ප්‍රතිශක්තිකරණයක් නැති තැන විෂබීජ භයානක අන්දමින් වැඩිලා කෙනෙක් රෝගී බවට පත්වෙනවා. ඒ වගේම තමයි මේ ද්වේෂය කියන එක. ඇතැම් කෙනෙකු තුළ මේවාට නිසි මෛත්‍රී භාවනාදිය නැති උනාම චරිතාංග බවට පත් වෙනවා. හැම තිස්සෙම නොරිස්සුම් ගතිය, ද්වේශය, ක්‍රෝධය, ඉහවහා යන ස්වභාවයක් තිබෙනවා. එබඳු පුද්ගලයා ධර්මයේ හඳුන්වන්නේ “අරුකූපමො පුග්ගලො” කියලා. ‘අරුක’ කියලා කියන්නේ තුවාලය. තුවාලයක් ඇති කෙනෙක් පිරිසක් මැදට ගියාම හැම තිස්සෙම ඒ පිරිස ටිකක් එහෙ මෙහෙ ගැටෙන කොට මේ තැනැත්තාට තරහ යනවා. තමන්ගේ තුවාලය ඉද්දෙන නිසා. අන්න ඒ වගේ තුවාල කාරයෙකුට උපමා කරලා තියෙනවා, දැඩි ද්වේෂයක් ඇති පුද්ගලයා. හැම තිස්සෙම ගැටෙන ස්වභාවයක් ඇති වෙනවා අර ද්වේෂය නිසා. හැම තැනම ගැටෙනවා. පුද්ගලයින් සමඟත්, සමහර දේ සමඟත් නිතර ගැටෙන ස්වභාවය. ඒ හැම ගැටෙන වාරයක් පාසා මේ තැනැත්තාගේ සිත තුළ ඇතිවෙන පරිවර්තනය මොකක්ද? අර ද්වේෂය කියන භයානක ක්ලේශධර්මය ඒ ඒ අවස්ථාවේ සිද්ධවෙනවා පමණක් නොවෙයි, දීර්ඝ කාලයක් සංසාරයේ ඒ කර්මානුරූපව යක්ෂ ප්‍රේත ආදී, එහෙම නැත්නම් නිරය ආදී තැන්වලට යවමින් ඒ තැනැත්තාව දිගු කාලයක් දුක් ගෙනදෙනවා. ඒ වගේම ඒ සිතිවිල්ල වැඩුනට පස්සේ එක වචනයෙන් පිටවෙනවා පරුෂ වචන වශයෙන්. ඊළඟට එතනින් කෙළවර වන්නේ නෑ. බහින් බස් වීම් ආදියෙන් පස්සේ ඊළඟට ක්‍රියාත්මක වෙලා ප්‍රාණඝාතය ආදී ඒ භයානක අකුසල් වලටත් කෙනෙක් යොමු වෙනවා. ඔන්න ඔය විදියට ද්වේෂයේ තියෙන ආදීනව පක්ෂය කලින්ම කෙනෙකුන් කල්පනා කරලා බැලිය යුතුව තිබෙනවා. ඊළඟට බුදු පියාණන් වහන්සේ විශේෂයෙන්ම බද්ධ වෛරය - ‘ආඝාත’ කියලා කියනවා එකට, ආඝාත බැඳගන්නවා කියලා - එබඳු ඒ බද්ධ වෛරයක් සංසිඳුවා ගැනීමට ක්‍රම පහක් ප්‍රකාශ කරලා තියෙනවා. එකක් මේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ, මෛත්‍රියමයි. මෛත්‍රී භාවනාව වැඩීම. දෙවනුව කියලා තියෙන්නේ කරුණාව. ඇතැම් අවස්ථාවල කරුණාවත් උපකාරී වෙනවා ඒ තමන්ගේ විරුද්ධ වාදියාගේ දුර්වලතාවන් තේරුම් ගැනීමට, ඒක සංසාරික දුර්වලතාවයක් හැටියට සළකලා, ලෙඩක් හැටියට සලකලා, වෛරයක් ඇති කරගත්තු පුද්ගලයා එහෙම නැත්නම් ද්වේෂයක් ඇති කරගත්තු පුද්ගලයා දෙස බලන්නට තියෙන්නේ ඒ තැනැත්තා ලෙඩෙක් හැටියට තුවාල කාරයෙක් හැටියට. එතකොට ඒ කරුණාව මාර්ගය කරගෙනත්, මාධ්‍ය කරගෙනත්, කෙනෙකුට පුළුවන් තමන්ට ඇතිවෙච්ච බද්ධ වෛරයක්, එහෙම නැත්නම් දැඩි ද්වේෂයක් සංසිඳවා ගන්න. ඒ වගේම තවත් සමහර අවස්ථාවලවල උපේක්ෂාව. උපේක්ෂාව කියලා කියන්නේ මැදහත් බැලීම. ඒ තැනැත්තාගේ ශරීරයත් මගේ ශරීරයත් හැදිලා තිබෙන්නේ මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, කියන ධාතුවලින්. මේ තැනැත්තාගේ අසුවල් තැන් කෙරෙහි ද මා ද්වේෂය පවත්වන්නේ කියලා. ඒ විදියට යම් කිසි ආකාරයකින් උපේක්ෂාවක් ඇති කරගන්න උත්සාහවත් වෙනවා. අන්න ඒ උපේක්ෂාවත් ඒ ද්වේෂය සංසිඳවා ගැනීමට උපකාර වෙන දෙයක් හැටියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම ‘අසති අමනසිකාර’ කියලා කියන නොමෙනෙහි කිරීම. ද්වේෂය වැඩෙන්නේ නැවත නැවතත් ඒක සිතට මතුවීම නිසා. ඒ මතුවෙන ස්වභාවය ඉවත් කිරීමට එය නොමෙනෙහි කරන්න උත්සාහ කරන්ට ඕන. නොමෙනෙහි කිරීමට හිත පමුණුවන්න ඕන. තමන්ට කළ වරදට ඒ පිළිබඳ පළිගැනීමේ චේතනාව තිබෙන නිසයි ඒක නැවත නැවත මතුවෙන්නෙ. ඒ වෙනුවට ඒක අමතක කිරීමටඋත්සාහ කරන්ට ඕන. ඒ වගේම තවත් ක්‍රමයක් දක්වල තියෙනවා, මේ හැම සත්ත්වයින්ම කම්ම දායාද කරගෙන සිටින අය බව ධර්මයානුකූලව කල්පනා කරනවා. ඒ කියන්නෙ ධර්මතාව හිතනවා මේ කර්මානුරූපව ඒ ඒ තැනැත්තා කරන දේවල්වලට ඒවායේ ඵල විපාක විඳිනවා කියලා දැන් බොහෝ දෙනෙකුට ද්වේශය ඇති වෙන්නේ - සාධාරණ කෝපය කියලා දෙයක් ඇතිවෙන්නේ - අනිත් අයට යම්කිසි ‘පාඩමක් ඉගැන්වීමටයි’. “ඒ අයට පාඩමක් උගන්වන්න ඕන” කියලා ඒ විදියට හිතාගෙන. නමුත් තමා තුළ තිබෙන ද්වේශය තමාට පේන්නේ නෑ. ඒක වංචක ධර්මයක් වශයෙන් යට වෙනවා. අන්න ඒක නිසා හිතන්න තියෙන්නෙ මේක මේ ලෝකෙ ධර්මතාවක්., කර්මානුරූපව කෙනෙක් වැරදි කළොත් ඒකට විඳින්න වෙනවා. අපි ඒකට උපකරණ වීමට සුදුසු නෑ. එසේ උපකරණ උනොත් ඒ අයට දඬුවම් කිරීම වශයෙන්, අපටත එහි ප්‍රතිඵලයත් විඳින්නට සිද්ධ වෙනවා. ඔය විදියට බුදු පියාණන් වහන්සේ ක්‍රම පහක් දක්වලා තියෙනවා, ඒ බද්ධ වෛරය සංසිඳවා ගැනීමට. මේක එදිනෙදා ජීවිතයේ තමන්ට තමන්ව අත් දකින්ට පුළුවන්, ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒ වගේම මේ ශාසනයේ මෛත්‍රී කරුණා ආදී ගුණ වලින් ඉතාමත්ම ප්‍රකට ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි අග්‍ර ශ්‍රාවක සැරියුත් මහා ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ එක අවස්ථාවක සංඝයා වහන්සේලාට ක්‍රම පහක් දක්වා වදාළා, මේ ‘ආඝාත’ කියලා කියන බද්ධ වෛරය සංසිඳුවා ගැනීමට. ඉතාමත්ම පුදුම විදියේ උපමා උන්වහන්සේ දක්වන්නේ. උන්වහන්සේ පෙන්නුම් කරනවා, දැන් මෙන්න යම්කිසි කෙනෙකුට ද්වේෂයක් එහෙම නැත්නම් වෛරය ඇති උනා තව කෙනෙකු පිළිබඳව. ඒ තැනැත්තාගේ කායික හැසිරීම් අපිරිසිදුයි, ඒ කියන්නේ කායික හැසිරීම ඉතාමත් නරකයි, නමුත් වාචසික හැසිරීම ඉතාමත් ප්‍රියමනාපයි, හොඳයි. එහෙම නැත්නම් වාචසික හැසිරීම් වල දෝෂයක් නෑ. අන්න එබඳු පුද්ගලයා ගැන කෙනෙකුට වෛරය ඇති උනාම පිළිපැදිය යුතු ආකාරය ඒ සැරියුත් ස්වාමීන් වහන්සේ පෙන්නුම් කරනවා උපමාවකින්. දැන් ඔය පංශුකූල සිව්රු පරිහරණය කරන සංඝයා වහන්සේලා මාර්ගයේ, වීදියේ, යන අතරේ යම්කිසි රෙදිකඩක් හමු උනාම වම්පයින් එක කොනක් පාගාගෙන දකුණු පයින් අර හොඳ රෙදි කෑල්ල ඇදල ඉරලා ඒ ටික අරගෙන පිටත් වෙලා යන්නා වගේ, ඒ අවස්ථාවේ අර පුද්ගලයාගේ නරක කායික හැසිරීම් මෙනෙහි නොකළ යුතුයි. කායික හැසිරීම් ගැන හිතන්නේ නැතිව හොඳ පැත්ත විතරක් හිතනවා. වාචසික හැසිරීම් හොඳයි කියන එක ඉදිරිපත් කරගෙන තමන්ගේ ද්වේශය සංසිඳවා ගන්නවා. මෙන්න මේ උපමාවක් දෙන්නේ. ඒක ඉතින් අර සංඝයා වහන්සේලාට පොදු එකක් හැටියට නෙවෙයි තම තමනුත් ඒ උපමාව ආශ්‍රයෙන් තේරුම් ගන්න ඕන. මේ කියන්නේ යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා, එහෙම නැත්නම් අපි කියමු මේ නරක පැත්ත තමයි කායික හැසිරීම, හොඳ පැත්ත තමයි වචනයේ හැසිරීම. ඉතින් තමන්ගේ ද්වේශය වඩා ගන්න ඕනෙ නම්, වෛරය වඩා ගන්න ඕනෙ නම්, අර නරක පැත්තයි අප හිතන්න පෙලඹෙන්නේ. සමහර විට කන්දක් තරම් වටිනා ගුණයක් තියෙන කෙනෙකුගේ ඒ ගුණය මකන්න පුළුවන් කෙන්දක් තරම් පොඩි දෝෂයකින්. එක්තරා අස්ථාන රුචියක්, එක්තරා අස්ථාන ප්‍රීතියක්, භුක්ති විඳිනවා අර ද්වේෂ සිතුවිල්ලෙන්. ඒක තමන්ට තියෙන්නේ නෑ. තමන් දැවෙනවා. ඒක වෙන්නෙ අර නොමෙනෙහි කළයුතු දේ මෙනෙහි කිරීම නිසා. එතකොට සැරියුත් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අර උපමාව සිතට අරගෙන - පංශුකූල සිවුරු දරන ස්වාමීන් වහන්සේලා කෙනෙකුට අරවිදියෙ කිලිටි රෙදි කඩක් හමුවුනාම ඒක අත්හැරලා යනවත් නොවෙයි. එයින් ගත යුතු ටික විතරක් ගන්නවා. අන්න ඒ වගේ අර පුද්ගලයාගේ හොඳ පැත්ත සිහිපත් කරලා තමන්ගේ සිත මෛත්‍රියට නැඹුරු කරගන්නවා. කරුණාවට නැඹුරු කරගන්නවා. අර තමන්ගේ භයානක විපාක දෙන ඒ බද්ධ වෛරය සංසිඳුවා ගන්නවා. ඒ වගේම ඊළඟට දෙන උපමාව, ඒකේ තියෙන්නේ යම්කිසි කෙනෙක් ඉන්නවා, ඒ තැනැත්තාගේ කායික හැසිරීම පිරිසුදුයි, වාචසික හැසිරීම අපිරිසුදුයි. ඒ කියන්නේ කයින් කරන වැඩ හොඳයි නමුත් වචනයෙන් කරන දේවල් නරකයි. අන්න එබඳු පුද්ගලයා පිළිබඳව ඇති වන බද්ධ වෛරය සංසිඳුවා ගැනීමට සැරියුත් ස්වාමීන් වහන්සේ දෙන උපමාව මොකක්ද, ඔන්න යම්කිසි කෙනෙක් මහා නියං කාලයක, ග්‍රීෂ්ම කාලයක, දැඩි පිපාසයකින් එනවා වතුර හොයාගෙන. විලක් තියෙනවා, ඒ විලේ වතුර දිය සෙවෙල්වලින් වැහිලා. එතකොට වතුර බොන්න ඕනෑ නිසා කොහොම හරි අර දිය සෙවෙල් අත් දෙකෙන් ඉවත් කරලා තමන්ට ඕනෑ තරම් වතුර බීලා පිටත් වෙලා යනවා. අන්න ඒ වගේ එතන අර දිය සෙවෙල්වලට උපමා කරලා තියෙන්නේ අර තැනැත්තාගේ අර වචනයේ ඇති අඩු පාඩුකම්. ඒවා මෙනෙහි කරන්නේ නැතිව හොඳ ටික විතරක් ගන්නයි කියන එකයි ඒකෙන් දැක්වෙන්නේ. අන්න ඒ විදිහට ඒ ඒ පුද්ගලයාගේ විවිධත්වය අනුව සැරියුත් ස්වාමීන් වහන්සේ තමන්ගේ හැඟුම් හික්මවා ගන්න ක්‍රමයක්, නියම මෙනෙහි කිරීමේ ක්‍රමයක් එතනට දක්වලා තියෙනවා. ඊළඟට තුන්වෙනුව දක්වනවා, ඔන්න යම් කිසි කෙනෙක් සිටින්න පුළුවන් ඒ තැනැත්තාගේ කායික හැසිරීමුත් ඉතාම නරකයි. වාචසික හැසිරීමුත් ඉතාම නරකයි. නමුත් ඉඳහිටලා, විටින් විට, හිතේ පිරිසිදු පැහැදුණු ස්වභාවයක් මතුවෙනවා, කලාතුරකින් වගේ. අන්න එබඳු පුද්ගලයා පිළිබඳව ඇතිවෙච්ච වෛරය සංසිඳවා ගන්න සැරියුත් ස්වාමීන් වහන්සේ දෙන උපමාව මහා පුදුමයි. ඔන්න යම්කිසි නියං කාලයක ඉතාමත් පිපාසිතව කෙනෙක් වතුර හොයාගෙන යනවා. යන අතරේ වෙන කොහේවත් වතුර නෑ. හරකෙක් අඩිය තියපු තැනක වතුර ටිකක් තියෙනවා. මේක දැක්කම මේ තැනැත්තා කල්පනා කරන්නේ නෑ “දැන් මම පනිට්ටුවක් ගෙනල්ලා මේ වතුර ටික බොන්න ඕන” කියලා වත් “මේකට අත් දෙක දාලා බොන්න ඕන” කියලා වත්. මොකද, එතකොට වතුර කැලතෙනවා. ඒක කරන්න බැරි දෙයක්. ඒක නිසා ඒ අවස්ථානුකූලව ඒ තැනැත්තා මොකද කරන්නේ, හරකෙක් වගේ බිම හතර ගාතෙන් වැටිලා දිව ගාලා අර වතුර ටික බොනවා. මොකද, නියං කාලේ පිපාසේ නිසා. ඔය උපමාව ආශ්‍රයෙන් සැරියුත් ස්වාමීන් වහන්සේ පෙන්නුම් කරන්නේ මොකක්ද, අර පුද්ගලයාගේ කොයිතරම් නරක පැත්ත තිබුණත් - කායික හැසිරීම්වල ගන්න දෙයක් නෑ, වාචසික හැසිරීම් ගන්න දෙයක් නෑ - නමුත් ඉඳහිටලා යන්තම් අර මහා ඝනාන්ධකාර රාත්‍රියක පොඩි විදුලි කෙටිල්ලක් වගේ හිතේ පොඩි විවරයක් එනවා - ඒ ටික ඇති කෙනෙකුට මෛත්‍රී වඩන්න, කරුණාව ඇති කරගන්න. ඒකයි සැරියුත් ස්වාමීන් වහන්සේ දෙන පාඩම. අර නුසුදුසු පැත්ත අමතක කරලා “අනේ මේ මෙච්චර මෙහෙම උනත් ටිකක් තියෙනවා නේද මේ තැනැත්තාගේ ගන්න” කියලා ඒක මෙනෙහි කරලා තමන්ගේ ද්වේෂය සංසිඳවා ගන්නවා. මේ ඔක්කොම තමන් වෙනුවෙන් කරන්නේ. තමන්ගේ හිතේ අර ද්වේෂ ගින්න වැඩුණොත් තමන්ට සාංසාරික වශයෙනුත් බරපතල විපාක විඳින්න සිද්ධ වෙනවා. එපමණක් නොවෙයි මේ ජීවිතයේ පවා ඒක වැඩිලා ගිහිල්ලා අන්තිමට කල කෝලාහල මිනී මැරුම් ආදිය දක්වාම යන නිසා. ඔන්න එතකොට ඒ තුන්වෙනි උපමාව. ඊළඟට සැරියුත් ස්වාමීන් වහන්සේ පෙන්නුම් කරනවා ඔන්න කෙනෙක් ඉන්න පුළුවන් අර කායික හැසිරීම - ඒත් බොහොම නරකයි. ගන්න දෙයක් නෑ. වාචසික හැසිරීම - ඒත් ගන්න දෙයක් නෑ. ඊළඟට කියනවා ඒ තැනැත්තාට ඉඳහිටලාවත්, විදුලි කොටනවා වගේ වත්, හිතේ හොඳක් මතුවෙන්නේ නෑ. එහෙම නැතිනම් ප්‍රසාද ස්වභාවයක් මතුවෙන්නේ නෑ. කොටින්ම කියනවා නම් “ගන්නම දෙයක් නැති” තරම් කෙනෙක්. නමුත් එබඳු පුද්ගලයා පිළිබඳව පවා ගතයුතු ආකල්පය ඊළඟට දක්වනවා. ඔන්න යම්කිසි කෙනෙක් දකිනවා ඉතාමත්ම දුගී රෝගී අසරණ පුද්ගලයෙක් කාන්තාර මාර්ගයක යනවා. ඒ තැනැත්තාට ගෙනියන්න ආහාරයක් නෑ. බොන්න වතුරක් නෑ. මාර්ගය පෙන්වන කෙනෙක් නෑ. ආහාර නෑ. බේත් නෑ. අන්න ඒ තත්ත්වයෙන් ඉතාම දුක්ඛිත අසරණ අන්දමින් ඒ තැනැත්තා ගමන් මාර්ගයේ යනවා. ඒක දකින යම් කිසි නුවණැති පුද්ගලයෙක් කල්පනා කරන්නේ කොහොමද? “අනේ මේ අසරණ මනුෂ්‍යයාට කවුරුහරි පිහිට වෙන්න කෙනෙක් ඉන්නවා නම් මාර්ගය දක්වන්න. කවුරුහරි ආහාර ටිකක් දෙනවා නම්, බෙහෙත් ටිකක් දෙනවා නම්, මේ තැනැත්තා විනාශයට පත් නොවී කොහොම හරි ජීවිතය රැකෙන ආකාරයට” කියලා කරුණා සිතිවිල්ලක් මතුකර ගන්නවා. දැන් සාමාන්‍යයෙන් ඒ වගේ කෙනෙක් දකිනකොට කරුණාව ඇතිවෙන අයට එහෙම සිතිවිලි ඇති වෙනවා. අන්න ඒ උපමාව ආශ්‍රයෙන් අපට හිතන්න තියෙන්නේ අර ඒ තමන්ට යම් කිසි වරදක් කළ පුද්ගලයාගේ ගත යුතු කොහෙත්ම දෙයක් නැත්නම් ඒත් ඒ පුද්ගලයාට කරුණාව දැක්විය යුතු බවයි. මේ හැම උපමාවකින්ම අපි දක්වන්නේ, තමන්ගේ හිත ඒ උපමාවට යොදලා ඒ ආශ්‍රයෙන් තමන්ගේ ජීවිතයට ගතයුතු ටික ගැනීමයි. ඒ හතරවෙනි පුද්ගලයා පිළිබඳව. ඊළඟට පස්වෙනුව දක්වනවා, දැන් සමහර විට සමාජයේ මෙහෙම දේවලුත් සිදුවෙනවා. කෙනෙකුගේ කායික හැසිරීම ඉතාම හොඳයි. වාචසික හැසිරීම ඉතාම හොඳයි. කියන්න කිසිම වරදක් නෑ වගේ, නමුත් මොකක් නමුත් හේතුවක් නිසා ද්වේෂයක් ඇතිවෙනවා, පෞද්ගලික කාරණයක් නිසා හෝ. අන්න එබඳු ද්වේෂයක් ඇති උනාම ඒක නම් සංසිඳවා ගන්න බොහොම පහසුයි. ඒකටත් සැරියුත් ස්වාමීන් වහන්සේ උපමාවක් දෙනවා. ඒත් අර නියං කාලේ කෙනෙක් පිපාසිතව වතුර හොයාගෙන යන අතරේ හමුවෙනවා හොඳට පිරුණු විලක්, පොකුණක්, හොඳ සෙවන ඇති, පිරිසිදු ජලය ඇති, සෙවණ ඇති ගස් වටේට තිබෙනවා. අන්න ඒ තැනැත්තා කිසිම කරදරයක් නැතිව ඕන හැටියට වතුර බීලා නාලා, ඒ ගසක් යට සංසුන්ව සැපසේ ඉන්නවා වගේ අර තැනැත්තාගේ හොඳ පැත්ත ගැන මෙනෙහි කරලා මේ තැනැත්තා නිසා මට මේ විදියට ද්වේෂයක් ඇති උනත් මේ තරම් හොඳ ගුණ ඇති කෙනෙක් කියලා හිතලා ඒ ගුණය නාලා - ඒ ගුණ ගඟේ නාලා - තමන්ගේ ද්වේෂ ගින්න සංසිඳවා ගත යුතු බව සැරියුත් ස්වාමීන් වහන්සේ පෙන්නුම් කරනවා. ඔන්න ඔය විදියට අපිට දැන් කල්පනා කරන්ට තියෙන්නේ. මේක තුළින් අපට පෙනෙන්නේ මොකක්ද? අපේ ජීවිතය යන මාර්ගය, අපි කරන ක්‍රියාවල් හැම එකකටම යටින් තිබෙන්නේ අපි යමක් පිළිබඳව ගන්න ආකල්පයයි. යමක් පිළිබඳව අපි දරණ ආකල්පයයි. ‘ආකල්පය’ කියලා කියන්නේ අපි යමක් දිහා බලන ආකාරයයි. ඒක අපිට වෙනස් කර ගන්න පුළුවන්. ඒක ස්ථිර දෙයක් නොවෙයි. අපිට පුළුවන් ඒක වෙනස් කරගන්ට. ඒක වෙනස් කිරීම කළ යුත්තේ ධර්මානුකූලව බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා - දැන්, නුවණින් මෙනෙහි කිරීම අනුවණින් මෙනෙහි කිරීම - එහෙම නැතිනම් නිසියාකාර මෙනෙහි කිරීමත් අනිසි මෙනෙහි කිරීමත් - කියලා දෙකක් ධර්මයෙහි තිබෙනවා. අනිසි මෙනෙහි කිරීම කියන එක ධර්මයේ දක්වන්නේ අයෝනිසෝ මනසිකාර කියලා. කෙලෙස් සියල්ලම ඇති වෙන්නේ, ඒවාට අදාළ දේවල්, අර අනිසි විදියේ මෙනෙහි කිරීමෙන්. එතකොට ඒවායින් මිදීමට නම් නිසියාකාර මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. දැන් සැරියුත් ස්වාමීන් වහන්සේ මෙතන මේ උපමා මගින් දක්වලා තිබෙන්නේත් අන්න නිසි ආකාර මෙනෙහි කිරීම. බුදු පියාණන් වහන්සේ කොටින්ම අවසර දීලා තිබෙනවා යම් ආකාරයකින් අකුසල් යට යනවා නම් කුසල් මතුවෙනවා නම් අන්න ඒ ආකාරයෙන් මෙනෙහි කළ යුතුයි. මොනම උපමාවක් හෝ උපකාර කරගෙන, මොනම ක්‍රමයක් හෝ උපයෝගී කරගෙන, අකුසල් - අකුසල් කියලා කියන්නේ ලෝභය, ද්වේෂය, මෝහය - ඒවාට අදාළ දේවල්, ඒවා යටපත් වෙන ආකාරයටයි මෙනෙහි කරන්ට ඕනෙ. ඒවා නැති වෙන ආකාරයටයි. ඒවා වැඩෙන ආකාරයට නෙවෙයි. ඉතින් ඒකට නම් තමන්ටම අයිතියි යම් කිසි උපමාවක්, එහෙම නැතිනම් යම්කිසි මානසික චිත්‍රයක්, හොඳ සිතිවිල්ලක් මුල් කරගෙන හිත හසුරුවා ගන්න. අන්න ඒ විදියට ක්‍රමානුකූලව වැඩීමෙන් තමයි ආකල්පය කියලා දෙයක් ඇතිවෙන්නේ. දැන් අපි හිතමු කොහෙත්ම මෛත්‍රී භාවනාවක්, මෛත්‍රියක්, කියන එක දන්නෙවත් නැති කෙනෙක් ලෝකය දිහා බලන දෘෂ්ටි කෝණය, එහෙම නැතිනම් ලෝකය දිහා බලන ආකාරය, කොයි වගේද කියතොත් ඒ තැනැත්තා හැම තැනම ගැටෙනවා. මුළු ජීවිතයම අවුලක් කර ගන්නවා. තමනුත් විනාශ වෙලා අනිත් අයත් විනාශ කරනවා. එහෙම නැතිව යම්කිසි කෙනෙක් ටිකෙන් ටික හරි පටන් ගන්නවා නම්, තමන්ගේ හිතට දානවා නම්, අපි අර මේ දේශනාව ආරම්භ කරන අවස්ථාවේදී ප්‍රකාශ කළ වාක්‍යය - ඒ කියන්නෙ සැපයට කැමති බව මුළු සත්ත්ව ලෝකයා තුළම තියෙන ධර්මතාවක්. එතකොට මෛත්‍රිය කියලා කියන්නේ මෙන්න මේ ලෝකයේ තියෙන සැප කැමති බව කියන අදහස තමන්ගේ හිතට ජීර්ණ කර ගැනීමයි. මේ හිත හැම තිස්සේම විසිරෙන්නේ, එක අරමුණක නොපිහිටින්නේ, මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන ඒ කෙලෙස් මතුවීම තුළිනුයි. එතකොට මේකට ලෝකයාට පොදු යම් කිසි ධර්මතාවක් අපේ හිතට දුන්නොත්, හැම දෙනාම සැපයට කැමතියි කියලා, ඒක තුළ පුළුවන් අපේ හිත තැන්පත් කරගන්න. ඉතින් ඒක ‘සුවපත් වේවා’ හරි, ‘සුවපත් වෙත්වා’ හරි, එක වචනයක් තුළට නැඟීමෙන්, ඒක නිතර හිතට මතුකර ගැනීමෙන්, නිතර නිතර සිතට මතුකර ගැනීමෙන්, අන්න තමන්ගේ ආකල්පයක් වෙනස් වෙනවා. ඒ වගේම සමාධිය ආදි ඒ අනිකුත් ගුණධර්ම රාශියක් ඒ නිසා වැඩෙනවා. ඒවායේ ආනිසංසත් බුදු පියාණන් වහන්සේ කොතෙකුත් දක්වලා තියෙනවා. මේ පින්වතුන් අහලත් ඇති, ‘මෙත්තානිසංස’ සූත්‍රයේ එහෙම එදිනෙදා අත් දකින ආනිසංස මෛත්‍රී භාවනාවෙන් - ඒ මෛත්‍රී භාවනාව තුළින් කෙනෙකුගේ සිත විමුක්ත උනොත්, සිත විමුක්ත වෙනවා කියලා කියන්නේ මොකක්ද? දැන් ‘බද්ධ වෛරය’ කියලා කියනකොට එතනම තියෙනවා බැඳීම - බන්ධනය, සිත බැඳෙනවා. යම්කිසි පටිඝ නිමිත්තක්, එහෙම නැත්නම් තමන්ට කරන ලද වැරැද්දක් නිසා පළිගැනීමේ චේතනාව උඩ, ඒ සිත හැම තිස්සේම රෑ දවල් දෙකේම ගැටෙමින් පවතින්නේ. ඒක බන්ධනයක් වගේ. ඒක බරපතල බන්ධනයක් - ද්වේෂ බන්ධනයක්. ඒක තමයි සංසාරයේ සමහරු දිගින් දිගට එකිනෙකාගෙන් පළිගනිමින් යන්නේ. එතකොට ඒ වෙනුවට ඉදිරිපත් කර ගන්නවා සිතේ විමුක්තිය. ඒකට කියනවා ‘මෙත්තා චේතෝවිමුක්තිය’ කියලා. මෛත්‍රී භාවනාව හොඳට සිතට ජීරණ වෙන අන්දමින්, මුළු මහත් ලෝකයා වෙත පැතිරුණු ඒ පිරිසිදු මෛත්‍රී සිත ඇති තත්ත්වය චේතෝ විමුක්තිය හැටියට දක්වනවා - මෛත්‍රීචේතෝවිමුක්ති. එබඳු ඒ චේතෝ විමුක්ති තත්ත්වයට - මෛත්‍රී චේතෝ විමුක්ති තත්ත්වයට පත්වුනු සිතක - ඇතිවෙන සැනසීම එයින් එදිනෙදා ජීවිතයේ පවා ලැබෙන ආනිසංස බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා, එකොළහක් හැටියට. ඉතාමත්ම සැප නින්දක්, එදිනෙදා ජීවිතයේ සැප නින්දක් ලබන්ට පුළුවන්. ඊළඟට ප්‍රබෝධවත්ව නැගිටින්න පුළුවන්. නරක හීන පෙනෙන්නේ නෑ. ඊළඟට මනුෂ්‍යයින්ට ප්‍රිය වෙනවා. අමනුෂ්‍යයින්ට ප්‍රිය වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාව පවා සැලසෙනවා. ඒ වගේම තමන්ට පැමිණිය හැකි යම් යම් උපද්‍රව වලින් - වස විස ආයුධ ආදියෙන් පැමිණිය හැකි උපද්‍රව - බොහෝවිට අර මෛත්‍රී සිතේ බලයෙන්ම වැළකී යනවා. ඒ වගේම ඉක්මණින්ම සිත තැන්පත් වෙනවා. සමාධිමත් වෙනවා. මුහුණේ වර්ණය, එහෙම නැත්නම් ශෝභාව, වැඩිවෙනවා. ඒ වගේම මිය පරලොව යන අවස්ථාවේ හොඳ සිහියෙන් කාලක්‍රියා කරන්ට පුළුවන් වෙනවා. යම්කිසි මාර්ගඵල ආදියක් ලබලා නැත්නම්, නිවන් ප්‍රත්‍යක්ෂ කර ගත්තේ නැත්නම්, යටත් පිරිසෙයින්, අවම වශයෙන්, බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලබනවා කියලා ඔය විදියට අර මෛත්‍රී භාවනාව හොඳට චේතෝ විමුක්ති තත්ත්වයටම දියුණු කරගන්නා පුද්ගලයාට ලැබෙන ආනිසංස රාශියක් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. අන්න ඒක නිසා දැන් මෙබඳු මේ උතුම් වෙසක් පොහොය දිනක අපි අධිෂ්ඨාන කරගන්න ඕන - අපේ ජීවිතය යහමගට ගෙන යාමට වැඩි දෙයක්ම අවශ්‍ය නෑ. ඉතාම සුළු වෙනසයි කරන්ට ඕන. දැන් දන්නවා විශාල යන්ත්‍රයක් පවා, සමහර විට නතරවෙල තිබෙන යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන්න, පොඩි ඇණයක් විතරයි ඕන කරන්නේ. එහෙම නැතිනම් යම්කිසි අඩුපාඩුවක් හරිගස්සගන්න. අන්න ඒ වගේ ලොකු දෙයක් නෙවෙයි මෙතන මේ තමන්ගේ ආකල්පය වෙනස් කරගන්න උපකාර වෙන්නේ. සමහර විට එක වචනයයි. ‘සුවපත් වේවා’ කියන අදහස, ඒ වචනය, භාවනාමය වශයෙන් තමන්ගේ හිතට දාගන්නවා. භාවනාව කියලා කියන්නේ අමුතු දෙයක් නොවෙයි. යම් කිසි කුසල් හිතක්, කුසල් අරමුණක් නැවත නැවත හිතට ඇතිකර ගැනීමෙන් ඇති කරගන්න විශේෂ ශක්තියක්. ඒ ශක්තියට කියනවා ‘ආසේවන’ කියලා. ඒ කියන්නේ නැවත නැවත ඇසුරුකිරීම තුළින් කෙනෙකුගේ හිතේ විශාල ශක්තියක් ඇති කරගන්න පුළුවන්. ඒක නිසා තමයි භාවනාව ගැන කියනකොට ආසේවිතා, භාවිතා, බහුලීකතා - ආසේවනය කරනවා නිතර ඇසුරු කරනවා, ඒ වගේම වඩනවා, ඊළඟට බහුල වශයෙන් කරනවා. මෛත්‍රී සිතිවිල්ල නිතර ඇසුරු කිරීම කියලා කියන්නේ නිතර නිතර හිතට නගාගන්නවා ඒක. ඒ විදියට ඒ සිතුවිල්ල තුළ තිබෙනවා සිත විමුක්ත කරවන ස්වභාවයක්. මොකද, සිත පටුවෙලා කොටු වෙලයි තිබෙන්නේ. ආත්මාර්ථකාමීත්වය නමැති ඒ වැට කඩුල්ල තුළ ලෝක සත්ත්වයාගේ සිත් පටුවෙල කොටුවෙලයි තිබෙන්නේ. ඒ ආත්මාර්ථකාමීත්වයෙන් මිදිලා තමයි කෙනෙකුට පුළුවන් වෙන්නේ අනිත් අය සැපවත් වෙත්වා කියන ඒ සිතිවිල්ල පවත්වන්න. ඒ සැපවත් කිරීම බොහෝවිට ආරම්භවන්නේ තමන්ගෙ අවට සිටින අයගෙන්, තමන්ගේ ඥාතීන්ගෙන් මව් පිය දූ දරුවන් ආදීන්ගෙන්. නමුත් එතනින් නවත්වන්න නරකයි. ඊළඟට අසල්වාසීන් ඊළඟට මැදිහත් අය අවසානයේ සතුරන් පවා ඒ හැම දෙනාම. නියම ආකාරයෙන්ම සතුරන් ජය ගන්නවා කියලා කියන්නේ අර කියාපු විදියට යුද්ධ ආදියෙන් නොවෙයි. සතුරා ජයගැනීම අර ද්වේෂ සිතිවිල්ල සංසිඳවා ගැනීමෙන් කරන දෙයක්. හිත ඇතුළෙයි සතුරා ඉන්නේ, බාහිරව සිටින සතුරා නොවෙයි. ඒ පුද්ගලයාම තමයි. නමුත් අර තරහඋනාට පස්සේ එයා සතුරා වෙනවා. සතුරාත් මිතුරාත් අතර වෙනස තිබෙන්නේ වෙන එකක් නොවෙයි. තමන් ඒ තැනැත්තා කෙරෙහි ඇති ආකල්පයයි. ඒක නිසා ඒ ආකල්පය වෙනස් උන හැටියෙ අන්න ඒ සතුරා මිතුරා වෙනවා. ඒක නිසා තමයි අර බෞද්ධ පඬිවරු ප්‍රකාශ කරලා තිබෙන්නේ - එක් උපමාවක් හැටියට - මේ පොළොවේ තිබෙන තාක් කටු - දැන් අපිට පොළොවේ ඇවිදින්න ඕන නම් - මේ ඔක්කොම කටු ඉවත් කරලා ඉවරවෙලා ඇවිදින්න පටන් ගන්න හිතුවොත් ඒක කවදාවත් කෙරෙන්නේ නෑ. ඒ වෙනුවට තමන් පාවහන් දාගත්තහම අර කටුවලින් තමන්ට හානියක් වෙන්නේ නෑ. අන්න ඒ වගේ ලෝකයේ ඉන්න තරම් සතුරන් මරලා ඉවරවෙලා මම හොඳට සැප සේ නිදා ගන්නවා කියලා හිතුවොත්, ඒක කවදාවත් කරලා ඉවර කරන්න බෑ. ලෝකයේ සතුරන් මරලා තමන්ට කැමති අය විතරක් ඉතුරුකර ගන්න එක කවදාවත් සාර්ථක වෙන දෙයක් නොවෙයි. ඒ වෙනුවට කරන්න තියෙන්නේ තමන් අර පාවහන් දා ගැනීමේ උපමාව වගේ එතන දක්වන්නේ තමන්ගෙ හිත. තමන්ගෙ හිතේ සිටින සතුරා මැරු කල - තමන්ගේ හිතෙයි මේ සතුරා ඉපදිලා තිබෙන්නේ - ඒ සතුරා මැරුවොත් අර ඔක්කොම සතුරන් මැරුවා වගේ වෙනවා. අන්න ඒ විදියට ඒ බෞද්ධ දාර්ශනිකයන් එහෙම දක්වලා තිබෙනවා නොයෙකුත් න්‍යායයන් උපන්‍යාසයන්. ඒ ආශ්‍රයෙන් තම තමන්ගේ සිත් සතන් භාවනාමය වශයෙන් දියුණු කරගැනීම තුළින් තමයි ඒ ආනිසංස දකින්න පුළුවන් වන්නේ. එතකොට ඒ ද්වේෂය පිළිබඳව එහෙමයි. අනෙකුත් කෙලෙස් පිළිබඳවත් අර යෝනිසෝ මනසිකාර, අයෝනිසෝ මනසිකාර, කියන ඒ ධර්මතාව අනුව අපි නිතර කල්පනා කරල බලන්ට ඕන. මේ සංසාරයේ දිගු කාලයක් අපව ගෙන යන්නේ මේ ලෝභ ද්වේෂ මෝහ කියන ඒ ක්ලේශ ධර්ම තුනයි. දැන් ලෝභය තමයි අර බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ එතන ආතුර වශයෙන්. ලෝකයා නිතරම ලෙඩින් සිටින්නෙ. කෙලෙස් ආතුර - කෙලෙස් ආතුර භාවයක්, ඒ කෙලෙස් ආතුර භාවයෙන් මිදීමට නම් අර තෘෂ්ණාව, ආශාව, ලෝභය කියන ක්ලේශ ධර්ම සංසිඳවා ගැනීමට සිදුවෙනවා. ඒ වගේම, ලෝකයා උත්සුක බවකින්, නිතරම නොසන්සුන් ස්වභාවයකින් සිටින්නේ. ඒ ඉමක් කොනක් නැති සෙවිල්ල නිසා, පංචකාම සම්පත්තිය, ඒවා පිළිබඳව ඇති දැඩි ගිජුබව නිසා දැන් ලෝකයේ කොතෙකුත් ඔය විවිධ විලාසිතාවන්, මෝස්තර, එහෙම නැත්නම් ප්‍රයෝජනයක් නැති දේවල් සොයමින් ලෝකයා දුවන දිවිල්ල නිසා කොයි තරම් විනාශයක් එහෙම නැත්නම් දුක් රාශියක් එකතු කර ගන්නවාද කියලා අපිට පෙනෙනවා. සමහර විට ණය තුරුස් වෙලා, නොයෙකුත් දුක් රාශියක් රැස්කර ගන්නේ නියම සැනසීම, සැනසීම් සුවය, පිළිබඳ අවබෝධයක් නැති නිසයි. අන්න ඒක නිසා බුද්ධ වචනය අනුව අපි හැම තිස්සෙම කල්පනා කරන්ට ඕන විශේෂයෙන්ම මෛත්‍රියෙන්. මේ යුගය ද්වේෂයෙන් මුළු මහත් ලෝකයම විනාශවන යුගයක්. ඒක නිසා එදිනෙදා ජීවිතයේ තමන්ගේ ‘වැඩපොල’ හැටියට සලකන්ට ඕනෙ යම්කිසි භාවනා කර්මස්ථානයක්. එදිනෙදා ජීවිතය ගෙනයාම සඳහා නොයෙකුත් විදියේ කර්මාන්ත කරනවා, වැඩ කටයුතු කරනවා. නමුත් මේ හැම එකක්ම තමන්ගේ ශරීරය පවත්වා ගැනීමට - සැප විඳිනවා කියලා හිතන ඒ ශරීරය පවත්වා ගැනීමට පමණයි - උපකාර වෙන්නේ. මුළුමහත් සංසාරයේ අපව ගෙන යන්නේ මේ හිතයි. ශරීර කූඩුව අපි මෙතන අතහැරලා යනවා. නමුත් හිතේ ඇති කර ගත්තු ඒ කෙලෙස්වලට, ඒ කරනලද කර්මවලට ණය ගෙවීම් වශයෙන් තමයි දිගු කාලයක් සංසාරයේ සත්ත්වයා ගමන් කරන්නේ. අන්න ඒක නිසා මීට වඩා විශේෂ සැලකිල්ලක් යෙදිය යුතුව තියෙනවා - මේ කය ගැන සැලකිල්ලට වඩා - මේ අපේ හිත ගැන. මේ හිත ඉතාමත්ම පහසුවෙන්ම කිළිටි වෙන්න පුළුවන්. ලෝකයේ තිබෙන නානා විධ අරමුණු ගලාගෙන ඇවිල්ල, එක්කෝ ද්වේෂයෙන් එහෙම නැතිනම් රාගයෙන්, එහෙම නැතිනම් මෝහයෙන් හිත කැළඹෙන ස්වභාවයක් තියෙනවා. මේක වැළැක්වීමට නම් හිත සමාධිමත් කරන්න යම්කිසි උපක්‍රමයක් යෙදිය යුතුව තියෙනවා. දැන් කෙනෙක් ‘සුවපත් වේවා’ කියන ඒ සිතිවිල්ල උදෑසන නැඟිටින්න වෙලාවෙම හිතට දමාගෙන ඊළඟට විනාඩි කිහිපයක් හෝ අධිෂ්ඨාන කරගෙන ඒ සිතිවිල්ල තුළ හිත පවත්වාලා පුරුදු වුණා නම්, ඒ තැනැත්තාට ක්‍රම ක්‍රමයෙන් පුළුවන් වෙනවා බුදු පියාණන් වහන්සේ වදාළ ආකාරයට සතර ඉරියව්වෙම, අනිකුත් කටයුතු කරන අතරේ පවා, ඒ සිතිවිල්ල විටින් විට මතුකරගන්න. ඒ වගේම සමා ඉඩිරියට එන හැම කෙනෙකුටම ඒ අර මෛත්‍රී සිතිවිල්ල - මෛත්‍රී සිතිවිලි ධාරාව - නිකුත් කරන්න පුළුවන් ශක්තියක් ඒ තැනැත්තාට ඇති වෙනවා. ඒ විදියේ මෛත්‍රී චේතෝ විමුක්තිය ඇති උන පුද්ගලයා තමයි අර බුදුපියාණන් වහන්සේ වදාළ ආකාරයට ආනිසංස රාශියක් අත් දකින්නේ මෛත්‍රියෙන්. ඊළඟට ඒ වගේම උපකාර වෙන දෙයක් තමයි කරුණාව. මෛත්‍රිය සාමාන්‍යයෙන් අර තමා හා සමාන වගේ සිටින සත්ත්වයින් පිළිබඳව. කරුණාව බොහෝවිට දුකට පත්වන අයටයි. දුකට පත්වෙනවා කියලා කියන්නේ සමහර විට ඒක තමන් ඉදිරියේ නොපෙනී ඉන්න අය, එහෙම නැතිනම් තුවාලයක් කරගත්තු කෙනෙක්, දැකලා අපිට සමහර විට කරුණාවක් ඇති වෙනවා. නමුත් බුදුපියාණන් වහන්සේගේ මහා කරුණාව වගේ අපිට හින්න තියෙන්නේ මේ සංසාරයේ සිටින හැම සත්ත්වයන්ම කරුණාවට අරමුණු විය යුතු බවයි. සසර දුකට වැටිලා සිටින හැම සත්ත්වයෙක්ම කරුණාවට අරමුණු කරගන්න පුළුවන්. එහෙම හිතලා තමයි අර ද්වේෂ සිතිවිල්ල ඉවත් කර ගන්න කරුණාව අපි උපකාර කර ගන්නේ. ඒ වගේම එදිනෙදා ජීවිතයේ අර බුදු පියාණන් වහන්සේ වදාළ ආකාරයට සුවසේ විසීමට - ‘සුසුඛං’ කියලා කියන ආකාරයට සුවසේ විසීමට - උපකාර වෙන මුදිතාව කියලා කියන ගුණය. මේක බ්‍රහ්ම විහාර වශයෙන් දැක්වෙනවා. බොහෝවිට සමාජයේ තියෙනවා ඊර්ෂ්‍යාව. තමාට වඩා ඉහළින් කෙනෙක් පෙනී සිටිනවා නම්, වඩා සුඛෝපභෝගී දේවල් පාවිච්චි කරනවා නම්, ඒ තැනැත්තා කෙරෙහි ඊර්ෂ්‍යාව. එතනත් තියෙන්නේ හොරැස්සුම් ගතිය, නුරුස්සන බවයි. ඒ වෙනුවට මුළු මහත් ලෝකයාම සැපයට කැමතියි. හැම දෙනෙක්ම. ඒ අය සැපවත් වීම තමා සැපවත් වීම හැටියට හිතාගන්න ඕන. ඒකයි මේ මුදිතාව කියලා කියන්නේ. තමාට උනත්. දැන් මේ මව්පියෝ තමන්ගේ දරුවන් හැදෙන වැඩෙන කොට සතුටු වෙනවා. නමුත් ඒ මව්පියන්ම තමන්ගේ අසල්වාසීන් යම් කිසි දියුණුවක් ලබනකොට ඒ පිළිබඳව ඊර්ෂ්‍යාවක් ඇතිකර ගන්නවා. අන්න එතනින් පෙනෙනවා එතකොට අර හිතේ තියෙන යම් කිසි අඩුපාඩුවක්, පඩුවක්, නිසයි ඒක එහෙම වෙන්නේ. ඒ වෙනුවට හිතන්න තියෙන්නේ තමන්ගේ දූ දරුවන් ගැන හිතන්නා වෙසෙසින් මුළු මහත් ලෝකයාම සැපයට කැමතියි. හැම දෙනෙක්ම සුවපත් වීම මා සුවපත් උනා වෙසෙසින් කියලා හිතාගෙන ඒ විදියට මුදිතා ගුණය. මුදිතා ගුණය සමාජයේ ඉතාමත්ම දුර්ලභ ගුණයකි. වැඩිපුර ඊර්ෂ්‍යාව ආදිය පැතිරෙන්නේත් ඒ නිසයි. ඊළඟට ඒ වගේම තමයි උපේක්ෂාව. ලෝකයේ බොහෝ දේවල් තිබෙනවා අපට වෙනස් කරන්න බෑ. ඒවා ඒ හැටියටමයි. අපි ඒවා දිහා බලාගෙන ඉන්නවා මිසක්, උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා මිසක්, ඒවා එක්ක ගැටෙන්න ගියොත් ඒක අපේ පරිහානියට හේතු වෙනවා. ඒ මොකද, ඒ එක එක පුද්ගලයා අරස් ආයු කළ නිසයි. ඒ ඒ පුද්ගලයාගේ එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරීත්වය කර්මානුරූපව පැමිණි දෙයක්. එයින් අපට යම් කිසි ප්‍රමාණයකින් ඒ තැනැත්තාට උදව් වෙන්න පුළුවන් නම් මෛත්‍රී කරුණා ආදී ඒ නුවණැති ක්‍රියා මාර්ගයකින් උදව්වෙන එකයි අපට තියෙන්නේ. යම්කිසි විදියකින් එහෙම බැරිනම් උපේක්ෂාවයි ගෙනැවිත් තියෙන්නේ. මැදිහත් බවයි. එය පුද්ගලයාගේ කර්මයයි. කර්මානුරූපව ඇතිවෙච්ච දෙයක්. ඒ පිළිබඳව මට වෙහෙසිය යුතු දෙයක් නෑ. වෙහෙසෙන්න ක්‍රමයක් නෑ, කියලා ඒක ගැන උපේක්ෂාව ඇති කර ගන්න ඕන. ඔය විදියට මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා ආදී ඒ ගුණ සමාජයේ වැඩිවෙනකොට තමන්ට අර බුදු පියාණන් වහන්සේ වදාළ අර ‘සුසුඛං’ කියලා කියන ඒ උතුම් සුවය අත්දකින්න පුළුවන් වෙනවා. එතකොට අපේ මේ ජීවිතය හැඩගස්වා ගැනීම පිළිබඳව අපි කිසිම උත්සාහවත් උනේ නැත්නම් මේ සමාජයේ පැතිරීගෙන යන භයානක ද්වේෂ ගින්නට, ක්‍රෝධ ගින්නට, අහුවෙලා අපේ මේ ජීවිතය විනාශ වෙනවා. දැන් නොයෙකුත් ජනමාධ්‍ය වලින් මුළු දවස තිස්සේම ඇසෙන්නේ ද්වේෂයට ක්‍රෝධයට වෛරයට තුඩුදෙන අරමුණු. ඒවා අහන්න ලැබෙනකොට, දකින්න ලැබෙනකොට, ඒ තුළින් හිත තුළ අවිද්‍යාවක් ඇති නොවන ආකාරයට යම්කිසි ආකල්පයක්, ආකල්ප ශක්තියක්, ඇති කරගන්නොත් අන්න ඒ තැනැත්තාට පුළුවන් අර මහා කටු ඇති ප්‍රදේශයක පාවහන් දාගෙන ඇවිදින්න වගේ ආරක්ෂිතව සමාජයේ ජීවත් වෙන්න. ඒක නිසා මේ හැම එකකටම උපකාර වෙන්නේ අපේ මේ හිතේ වැඩිමයි. හිත ගැන නොතකා, හිතක ශක්තිය ගැන නොතකා, එදිනෙදා ජීවිතයේ තමන්ගේ රැකීරක්ෂා ආදියේ, අනිකුත් ලෞකික කටයුතුවල පමණක් යෙදෙමින් එපමණකින් සෑහීමකට පත්වෙන්න කෙනෙක් හිතුවොත් ඒ තැනැත්තාගේ විනාශය ඉතාමත්ම ළඟයි. බුදු පියාණන් වහන්සේ කෙනෙකුත් ලෝකයේ පහළවී වදාළහොත් මේ මනුෂ්‍ය සිතක තියෙන උතුම් බව - මේක කොයි තරම් ශ්‍රේෂ්ඨ තත්ත්වයටත් ගෙනයන්න පුළුවන්ද කියන එක - පෙන්වන්නටයි. මේ ශාසනයේ රහත් භාවය ලබලා දෙවියන් බ්‍රහ්මයන්ගෙන් පවා වැඳුම් පිඳුම් ලැබුවේ සමහර විට සමාජයේ කොන් වුණු ඉතාමත්ම කුලහීන හැටියට සැලකෙන අයත්, සමහර විට ඉතාමත්ම දාමරික හැටියට ජීවත්වුණු අංගුලිමාල ආදීන්, නොයෙක් විදියේ දුශ්චරිතවල යෙදිලා හිටිය අය. මේ හැම දෙනෙක්ම බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාවට පාත්‍රවෙලා, මහා කරුණාවේ පිහිටෙන්, ඒ වගේම මහා ප්‍රඥාව අනුව බුදු පියාණන් වහන්සේ යෙදාගන්නා උපාය මාර්ග - ප්‍රඥාවෙන් යෙදාගන්නා ඒ උපාය මාර්ග - නිසා ඒ තැනැත්තන්ගේ සිත්වල තිබුණු ඒ කෙලෙස් ඉවත්වෙලා, තාවකාලික වශයෙන් ආවරණය වෙලා තිබුණු ඒ කෙලෙස් ඉවත්වෙලා, සංසාරයේ පුහුණු ශක්තිය මතුවෙලා තමයි අර විදියේ තත්ත්ව ලබාගත්තෙ. බුදු පියාණන් වහන්සේට බෑ කිසි කෙනෙකුට නැති නිවනක් ලබා දෙන්න. ඒ තැනැත්තා සංසාරය තුළ දියුණු කරගෙන ආපු ශක්තිය මතුකර දීලා, ඒවා පුහුණු කරලා දීලා, මෝදු කරලා දීලා, තමයි කෙනෙක් රහත්බව ආදී උතුම් තත්ත්වවලට පත් කරන්නෙ. ඒ නිසා අපි හැම කෙනෙක්ම කල්පනා කරන්ට ඕන මේ සංසාරයේ අපි කරන ලද කොතෙකුත් පින් තියෙන්න පුළුවන්, හොඳ දේවල් තියෙන්න පුළුවන්. ඒවා යටපත්වෙලා තියෙන්නේ. අර යට ගිනි පුළුවුරු වගේ. ඒවා ඉබේ මතුවෙන්නෙ නෑ. ඒවා මතුකර ගැනීමේ ක්‍රමය තමයි භාවනාව කියන එක. භාවනාවකට සිත හුරු පුරුදු කර ගැනීම. ඒ නිසා මෙබඳු මේ වටිනා පොහොය දවසක අපි අධිෂ්ඨාන කරගන්ට ඕන. මේ පහන් දේවල්, එහෙම නැත්නම් මේවා ලෝකයේ බොහෝ දෙනා සොයා දකින විදියේ දේවල් හැටියට සැලකීම හරියට නෑ. භාවනාව කියන එක, ඇතැම් කෙනෙක් කල්පනා කරනවා, මේක මහළුවියට පත්වුනාට පස්සේ, පරලොව ගැන හිතන අවස්ථාවට සිටින උතුම් පමණක්, අපි මේ බණ භාවනා ගැන උනන්දු වෙනවා කියලා. ඒක වැරදි අදහසක්. එදිනෙදා ජීවිතයේ පැමිණෙන ගැටලු රාශියකට විසඳුම් - ඉතාම සුළු කාලයකදී ඒවාට විසඳුම් - ලබාගැනීමට පුළුවන් ශක්තියක් ලැබෙනවා සමාධිමත් සිතකින්. විශේෂයෙන්ම මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා යන ඒ බ්‍රහ්ම විහාර වලින් සකස්වුණු සිතක අර තීරණය ගැනීමේ ශක්තිය ඉතාමත්ම ප්‍රබලයි. එබඳු සිතක් සැලසෙන්නේ නෑ යම්කිසි පිරිසිදු තීරණයක් ගැනීමට. දැන් ලෝකය පුරාම මේ යුද්ධ කලකෝලාහල ආදිය ඇතිවීමට හේතුව අර නොදියුණු සිතමයි. සිත දියුණු කරනවා කියලා ලෝකයා කරන්නේ එක්කෝ ඉගෙන කියා ගැනීම් ආදී දේ, එහෙම නැත්නම් යන්ත්‍ර සූත්‍ර පිළිබඳව, විද්‍යාව පිළිබඳව - ඒවා පිළිබඳව - මේ හිත යෙදීමෙන්. ඒවායින් එක්තරා කෘත්‍රිම විදියක පරිවර්තනයක් සිතේ සිද්ධවෙන්නෙ. සිතේ නියම ක්‍රමානුකූල වර්ධනයක් - භාවනාවක් කියලා කියන ඒ නියම ‘වැඩීමක්’ - සිදු වෙන්නෙ නෑ. සිත තුළ තියෙන එක පක්ෂයක්, අර තර්කවිතර්ක ආදිය, විතරයි වැඩෙන්නෙ. මේ හිතෙයි කියලා කියන එක, මේක හදවතත් එක්කම යන එකක්. මේ හදවතේ ඇතිවන සිතුවිලි ඒ හැඟීම් ඒවායින් තොරව සිතක් පැනනගින්නෙ නෑ. ඒක නිසා ඒ හදවත පිළිබඳ යම්කිසි පිරිසිදු කිරීමක් කරන්න වෙනවා මේ මෛත්‍රී ආදී භාවනා ක්‍රම වලින්. එහෙම නැති තැන, ඒ තැනැත්තා යම්කිසි බුද්ධි වාදයකට යටවෙලා, තර්කවලට යටවෙලා, වංචක ධර්මවලට යටවෙලා, තමන්ගේ හිත දියුණු කරගන්නවා වෙනුවට තිරිසන් තත්වෙකට පත්කර ගන්නවා. තර්ක මාර්ගයෙන් නොයෙකුත් විදියේ අකුසල් පාපකම් පවා හොඳ දේවල් හැටියට පෙන්නුම් කරනවා. දැන් මේ සමාජයේ කරළියට ඇවිල්ල තියෙන නොයෙකුත් විදියේ මිථ්‍යා ආජීව මේ පින්වතුන් හොඳට දන්නවා. දැන් ඔය ආජීවය පිළිබඳව මේ අවස්ථාවේ සමාදන් උන ශීලය රකින්න බැරි හේතු මොනවද කියලා හිතලා බැලුවොත්, ලෝකයා කොතෙකුත් විදිහෙන් ධාර්මිකව ඉවත්කරලා ආර්ථිකය පිළිබඳව පමණට වඩා වෙහෙසීම නිසයි. ඒ අනිෂ්ට විතර්ක නිසා අර පාපකම්වල තියෙන අකුසල පැත්ත ගැන අමතක කරලා ඒ වෙනුවට එදිනෙදා ජීවිතයේ සැපය කියන්නේ ආර්ථික පැත්තෙන් ඇතිකර ගන්න දියුණුවයි. දැන් ඒකයි සමාජයේ ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ‘අනවජ්ජ සුඛ’ කියලා, නිරවද්‍ය ජීවිතයකින්, බුදු පියාණන් වහන්සේ වදාළ තියෙනවා ‘අනවජ්ජ සුඛ’ කියලා, නිරවද්‍ය ජීවිතයකින් කෙනෙක් ලබන සැපත එදිනෙදා - තමන්ගේ හිත දොස් කියන්නේ නෑ. බුදු පියාණන් වහන්සේ පෙන්නුම් කරලා තියෙනවා අත්තානුවාද භය, පරානුවාද භය, දණ්ඩ භය, දුග්ගති භය, කියලා භය හතරක්. භය කියලා කියන්නේ මෙන්න අන්තරාය - අන්තරාය හතරක් ලෝකයාට තියෙනවා. අත්තානුවාද භය කියලා කියන්නේ තමන්ගේ හිත තමන්ට දොස් කියනවා. තමන් කොයි තරම් ලෝකයාට රහසිගතව ඒ පාපකම් කළත්, මිනීමැරුම් හොරකම් ආදිය කළත්, ඒක තමන්ගේ හිත දන්නවා. ඒ තැනැත්තාට හරියට නින්ද යන්නේ නෑ. ‘හොරෙක් හොරෙක්’ කියලා කිව්වොත් තමන් හැරිලා බලනවා. ‘මිනී මරුවෙක්’ කියලා කිව්වත් තමන් හැරිලා බලනවා භයාරූක්ෂ ද. මොකද, තමන්ට කියනවා යි කියලා හිතාගෙන. ඒ තරමට අර තමාගේ හිත තමාට දොස් කියනවා. ඒ වගේම පරානුවාද භය කියන්නේ ඒ ගැන දැනගත්කම අනුන්ගෙන් අපහාස ආදිය, දෝෂාරෝපණ ආදිය, අහන්ට ලැබෙනවා. ඒ වගේම නීතියේ රැහැනට අහුලුනොත් එයින් දඬුවම් විඳින්ට සිද්ධ වෙනවා. ඒ හැම එකකින්ම බේරුනත් අවසානයේ දුගති කියලා කියන ඒ භයානක විපාක - අපාය, ආදී තැන්වල ඉපදිලා, සතර අපායේ ඉපදිලා - විඳින්ට සිද්ධ වෙනවා, බුද්ධ වචනය සත්‍ය තමයි. මේ හැම එකක්ම සිදු වෙන්නෙ සිත පිළිබඳව නොතැකීම නිසයි - සිතේ නියම වටිනාකම. අන්න ඒක නිසා මේවා ගැන කල්පනා කරලා මේ පින්වතුන් අද මේ වටිනා වෙසක් පෝය දවසේ එදිනෙදා ජීවිතයේ භාවනා කර්මස්ථානයට විශාල තැනක් දිය යුතුව තියෙනවා. ආරම්භ වශයෙන් උදෑසන සුළු වේලාවක් හෝ තමන් තමන්ගේ කටයුතුවලට, වැඩපලට, යන්න කලින් ‘මේ තමන්ගේ වැඩපලයි, මගේ වැඩපලයි’ කියලා හිතාගෙන සුළු වේලාවක් හරි යම්කිසි භාවනා කර්මස්ථානයක, විශේෂයෙන්ම මෛත්‍රී වැනි දෙයක් - සමාජය සමඟ කටයුතු කරනකොට බොහෝවිට ඒක තමන්ට උපකාරී වන නිසා, එහෙම නැතිනම් බුද්ධානුස්සතිය ආදී තමන්ගේ ශ්‍රද්ධාව වැඩි දියුණු වෙන, අශුභ ආදී ඒ කෙලෙස් මැඩනය වෙන, එහෙම නැතිනම් මරණ සතිය වැනි මේ ආධ්‍යාත්මික ජීවිතයේ ඒ වටිනාකම පෙන්නුම් කරලා දෙන ඒවා පිළිබඳව අප්‍රමාදීව කටයුතු කරන්න පුරුඩුවෙන, විදියේ යම්කිසි භාවනා කර්මස්ථානයක් තුළ සුළු වේලාවක් හරි හිත හසුරුවලා එදිනෙදා ජීවිතයේ කටයුතු ආරම්භ කරන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම දවස අවසානයේදීම තමන් නින්දට යන්න කලින් - හිත සන්සුන්වෙන අවස්ථාවක් ඒ වේලාවක් - නින්දට වැටෙන්න කලින් යම්කිසි භාවනාමය සිතක් ඇතිකර ගත්තොත් ඒ තැනැත්තාට අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ හැටියට නරක හීන පෙනීම් ආදී ඒ විදියේ කරදරයක් ඇතිවන්නේ නෑ. ඉතාම සැනසීමෙන් පත්වෙන්න පුළුවන්. එතකොට ඒ විදියට දවසේ ආරම්භයක් දවසේ අවසානයක් කියන සිත භාවනාවේ දමන කෙනෙකුට ක්‍රම ක්‍රමයෙන් එදිනෙදා ජීවිතයේ සතර ඉරියව් පවත්වන අතරෙම හිත විසිරෙන වෙලාවට කමමට නිරායාසයෙන්ම වගේ කර්මස්ථානය මතක් වෙන තත්ත්වයක් ඇතිවෙනවා. එබඳු පුද්ගලයාට ඒ තමන්ගේ ගමන් බිමන් වලදී, එදිනෙදා කටයුතු වලදී, අර ‘රස්තියාදු වෙනවා’ කියලා කියන ඒ අපතේ යන අවස්ථාවල වල, අර භාවනා කර්මස්ථානය තුළින් තමන්ගේ හිත වඩාගන්නා හැකියාව ලැබෙනවා. මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයෙන් අපි වැඩි ගන්නවා කියලා කියන්නේ මෙදා බුද්ධිවාදයට හැකැරගෙන, පොතේ පතේ තියෙන දේවල් කමන් ඉගෙන කියාගෙන කටපාඩම් කරගෙන, ඒවායින් යම්කිසි ලෞකික ප්‍රයෝජනයක්, විභාග පාස් කිරීම් ආදීයක්, කිරීම නොවෙයි. බුදු පියාණන් වහන්සේ වදාළ ආකාරයට මේ සංසාරයේ සත්ත්වයා දීර්ඝ කාලයක් දුකට පමුණුවන ලෝකය ද්වේෂය මෝභය කියලා කෙලෙස් මුල් තුන ඉතිර්ම සඳහා යම්කිසි ප්‍රයත්නයක් මේ භාවනාමය මනස තුළින් අපි ඇතිකර ගත යුතුව තියෙනවා. ඒ නිසා ඒ වගේ භාවනා කර්මස්ථාන දිය හැකි අය වෙත ළංවෙලා ඒ උපදෙස් ආදරයෙන් ලබාගෙන ඒවා තුළ තමන්ගේ සිත හැසිර වීමෙන් බුදු පියාණන් වහන්සේ වදාළ අර ‘සුසුඛං’ කියලා කියන ඉතාමත්ම උතුම් සැපත මෙලොවම ලබාගන්න උත්සාහකළ යුතුව තිබෙනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අර අනිකුත් දෙවියන් පවා ලබන ඒ සියළු සැපත පරාදයි මේ නිර්වාණ අමෘතයට, නිවන් සුවයට. නිවන් සුවය කියලා කියන්නේ එක්තරා අමුතු ලෝකයක ලබන, අමුතු පානයකින් ලබන, සැපතක් නොවෙයි. මේ සිතේ තිබෙන සැනසීම් සැපය, සිත තුළින්ම මතුකර ගත හැකි සැනසුමයි, නිවීමයි. මුළුමහත් ලෝකයම භවයම දැවෙන බවයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. ‘සබ්බං ආදිත්තං’ - මුළු මහත් ලෝකය දැවෙනවා. මේ දැවෙන බව ලෝකයාට තේරෙන්නේ නෑ. දැන් පළඟැටියන් පානකට වැටෙනවා දකිනකොට අපට නම් පෙනෙනවා උන් දැවෙනවා වගේ. නමුත් උන්ට ඒක තේරෙන්නේ නෑ. ඒ සතුන්ට තේරෙන්නේ නෑ. අන්න ඒ වගේ ලෝකයාත් හැම තිස්සේම කරන්නේ මේ ලෝභ ද්වේෂ මෝහ කියලා කියන මේ ගිනි තුනට පනින එකයි. ඒ ගින්නේ තියෙන ආකර්ෂණ ස්වභාවය නිසා ඒක ගින්නක් බව තේරෙන්නේ නෑ. ඒ වගේ මුළු මහත් ලෝකයාම ඒ ලෝභ ද්වේෂ මෝහ වශයෙන් ගිනි ගන්නවා වගේම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ සළායතන කියලා කියන අපේ ඉන්ද්‍රියන් ආශ්‍රිතව ඇති හැම එකක්ම දැවෙනවා කියලා. ඇසත් ගිනිගෙන දැවෙනවා. රූපයනුත් දැවෙනවා. කණත් ගිනිගෙන දැවෙනවා. ශබ්දත් දැවෙනවා. ඔය ආදී වශයෙන් මේ ඉන්ද්‍රිය හැම එකක්ම, මුළු මහත් ලෝකයම, ලෝභ ද්වේෂ මෝහ ආදී ගිනි වලින් දැවෙන හැටි බුදු පියාණන් වහන්සේ පෙන්නුම් කරල දීලා තිබෙනවා. එතකොට අන්න ඒ දැවිලි නිවාගන්නා තැන තමයි නිවන කියලා කියන්නේ. නිවීමයි. ඒක සඳහා එතකොට අර මෛත්‍රී ආදී භාවනාවකින් සිත තැන්පත් කරගෙන විදර්ශනා භාවනාව වැඩීමෙන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ ලෝකයේ යථා තත්ත්වය වන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන කෙනෙකුට සෝවාන් සකදාගාමී අනාගාමී අර්හත් කියන මාර්ගඵල ප්‍රතිවේධයෙන් උතුම් අමාමහ නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. එතකොට බුදු පසේබුදු මහරහතන් වහන්සේලා ලෝකයේ පහළ වී වදාරන්නේ ඔන්න ඔය කියාපු ඔය සංසිඳීම් සුවය - නිවීම් සුවය - ලෝකයාට හඳුන්වා දීමටයි, තමන් ප්‍රත්‍යක්ෂ කරගෙන - ඒක ඉලක්කයයි. හැම බෞද්ධයාගෙම ඉලක්කය විය යුත්තේත් ඒකයි. අන්න ඒ ඉලක්කය ඇතිව අද දින හොඳ අධිෂ්ඨාන ඇතිකරගෙන, භාවනාමය ජීවිතයක් මම මෙතැන් සිට ගතකරනවා කියලා අධිෂ්ඨාන කරගෙන, මේ පින්වතුන් අද දින පැයක් පමණ - ඇතැම් කෙනෙක් මේ වටිනා පොහොය අටසිල් ආදී ඒ උතුම් ශීලයක් සමාදන් වෙලා, තවත් සමහර කෙනෙක් ආජීව අෂ්ටමක ශීලය සමාදන් වෙලා, ඒ විදියේ ශීලයක පිහිටලා - ධර්ම ශ්‍රවණය කළා. ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ තමන් තෙරුවන් කෙරෙහි ඇති කරගත්තු ශ්‍රද්ධාව ඇතිව මේ කාලය තුළ තමන්ගේ කණ යොමු කිරීම. ඒ ශ්‍රද්ධාව - ඊළඟට ශ්‍රද්ධාව අනුව ගිය වීර්යයක් මතු කරගෙන තමයි ඒ කාර්යයෙහි යෙදිලා සිටින්නේ. ශ්‍රද්ධාව, වීර්යය, ඊළඟට ඒ එක්කම වීර්යය ආශ්‍රයෙන් තමන්ගේ හිතේ යම් කිසි සිහියක් - සතිය කියලා කියන ගුණය - ඇතිකර ගන්නවා. ඒ සතියම සෑහෙන වෙලාවක් පැවැත්වීම තුළින් යම්කිසි සමාධියක් අත් දකින්න පුළුවන්. ඒ සමාධිමත් හිතටයි ධර්මය පිළිබඳ ගැඹුරු වැටහීම් එන්නේ ප්‍රඥාව වශයෙන්. ඒක නිසා ඒ ධර්මයේ පෙන්නුම් කරන සද්ධා විරිය, සති, සමාධි, පඤ්ඤා, කියලා කියන, යම් කිසි අවස්ථාවක ඉන්ද්‍රිය ධර්ම බල ධර්මයන් හැටියට නිවනට උපකාරීවන, ඒ කුසල් ධර්ම වගා කර ගැනීමට අද දින මේ අවස්ථාව අපි යොදාගත්තා කියලා සතුටු වෙන්න ඕනෑ. මේ එකතුකරගත්ත කුසල් රාශියෙන් ඇතිකර ගත්තු චිත්ත ශක්තිය මේ ජීවිතයේදීම උතුම් මාර්ගඵල ප්‍රතිවේධයෙන් නිවන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමට උපකාරවත් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මෙතෙක් වෙලා අපි මේ ධර්ම දේශනාමය වශයෙන් ධර්ම ශ්‍රවණමය වශයෙන් දෙපැත්තෙන්ම රැස්කරගත්තු කුසල සම්භාරය ශාසනාරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය ඇතුළු යම්තාක් අවීචියේ පටන් අකනිට්ඨාව දක්වා වූ ලෝක සත්ත්වයින් සිටිනවා නම්, පින් කැමති නිවන් කැමති, අපගේ ඥාතීන් ඇතුළු, ඒ හැම දෙනෙක්ම මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී මේ භයානක සංසාර දුක්ඛයෙන් අත්මිදී ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් මිදුණු උතුම් අමාමහ නිවනින් සැනසීමට පත්වෙත්වා කියලා එහෙම ප්‍රාර්ථනා කරගෙන දැන් මේ ගාථා කියලා පින් පමුණුවන්න. ‘එත්තාවතා ච අම්හේහි…………….’